ලෝකයේ බහුතරයකට දකුණත හුරු ඇයි ??


ලොව සමස්ථ ජනගහණයෙන් 70-95 % ප්‍රමාණයක් දකුනත් හුරු පුද්ගලයන්ය.විද්‍යාඥයන් දිගු කාලයක් තිස්සේ පර්යේෂණ සිදු කලද මේ වන තුරුත් ඒ සඳහා පැහැදිලි හේතුවක් සොයා ගැනීමට අපොහොසත් වී ඇත.දකුණත් හුරු බව යනු තමන්ගෙ වැඩ කටයුතු සිදු කිරීමේදී දකුණු අතින් වම් අතට වඩා පහසුවෙන් එම කාර්යය කිරීම පහසු වීමේ තත්වයයි.මිනිසා ඇතුලු වානර සතුන්ගේ පමණක් මෙම ලක්ෂණය දැකගත හැක. මෙම ලක්ෂණයේ පරිණාමික ඉතිහාසය හෝමෝ නියැන්ඩර්තාල් මානවයාගේ සහ හෝමෝ හෙයිඩෙල්බර්ගෙන්සිස් කාලය දක්වා පැතිරෙන්නේ යැයි සලකයි.ඔවුන්ගේ දකුණත් බාහුව වඩාත් ශක්තිමත් බවකින් යුක්ත වීම නිසා ඔවුන් දකුණත හුරු පුද්ගලයන් යැයි සිතිය හැක.නමුත් එක් සතෙකුගේ පොසිලයකින් පමණක් මෙවැනි නිගමනයකට එලඹීම එතරම්ම නිරවද්‍ය නොවන ක්‍රියාවක් නිසා තවමත් එය මතයක් පමණි.
 
විවිධ ව්ද්‍යාඥයන් විවිධ ක්‍රම වලට අනුව මෙම ලක්ෂණය පැහැදිලි කරනු ලබයි.බහුතරයක් විශ්වාස කරන මතය වන්නේ  මොලයේ සංවිධාන ස්වභාවය හේතුවෙන් එසේ වන බවයි.
අනෙකුත් සතුන්ගේ මෙන් නොව මිනිස් මොළයේ විවිධ කටයුතු සඳහා විවිධ කොටස් හැඩ ගැසී ඇත.භාෂා පරිහරණය සහ අත් භාවිතය සිරුරේ විශාල ශක්ති ප්‍රමාණයක් භාවිතා කරන ක්‍රියාවන් දෙකකි.ඇතැම් විද්‍යාඥයන් පවසන ආකාරයට එම ක්‍රියා දෙක මොළයේ කොටස් දෙකක් තුලදී පාලනය කරනවාට වඩා එක් කොටසක් මගින් පාලනය කිරීමේදී කාර්යක්ෂමතාවය වැඩිය.බහුතර පිරිසකගේ භාෂා පරිහරණය පාලනය කරනුයේ වම් අර්ධගෝලයයි.සිරුරේ දකුණු පස කටයුතු පාලනය කරනුයේ වම් අර්ධගෝලය මගිනි.මේ අනුව භාෂා භාවිතය පාලනය කරන අර්ධගෝලය තුලදීම අත් භාවිතය පාලනය කිරීමද සිදු කිරීමට නැඹුරුතාවයක් පවතින්නේ නම් මිනිසුන් බහුතරය දකුණත් වීමට හැකියාවක් පවතී.නමුත් මෙය මෙලෙස පැහැදිලි කලද වමත් පුද්ගලයන්ගෙන් සියයට 61-73 අතර ප්‍රමාණයකගේ භාෂා භාවිතය සම්බන්ධ කටයුතු පාලනය වන්නේ මොළයේ වම් අර්ධගෝලයෙනි. දකුණත් පුද්ගලයන්ගෙන්ද භාෂා භාවිතා කිරීම මොළයේ  වම් අර්ධගෝලයෙන් පාලනය වන්නේ 90% කගේ පමණි.එබැවින් මෙය එතරම් සාර්ථක පැහැදිලි කිරීමක් ලෙස පෙනී යන්නේ නැත.
තවත් මතයකට අනුව මානව පරිණාමයේ එක්තරා අවස්ථාවකදී ගැටගැසීම,ගින්දර නිපදවීම වැනි කටයුතු වලදී ප්‍රමුඛව ක්‍රියා කිරීම සඳහා එක් අතක් තෝරා ගැනීමට ආදී මානවයන්ට සිදු වූ අතර ඔවුන් එය සඳහා දකුණත තෝරාගෙන ඇත.පසුකාලීනව දෙමව්පියන් එම කටයුතු සිදු කරන ආකාරය බලාසිටීමෙන්,පසු පරම්පරාවන් වල අයගෙන්ද බහුතරය දකුණත වැඩිපුර භාවිතා කිරීමට පෙලඹී ඇත.මෙම මතයටද එතරම් ප්‍රභල විද්‍යාත්මක පදනමක් නොමැති බැවින් පිලිගැනීම තරමක් අපහසුය.
එසේම ඇතැම් තාරකා ජීව විද්‍යාඥයන් පවසන ආකාරයට දකුණත් හුරු බව ප්‍රමුඛ වීම සඳහා විශ්වයේ සහ පෘථිවියේ දක්ෂිණාවර්ත භ්‍රමණය හේතු විය හැක.එය බැලූ බැල්මට විද්‍යාත්මක පදනමක් නැතැයි පෙනුනද මේ වන විට බිඳ හෙලීමට තරම් ප්‍රමාණවත් සාධක නොමැති එකම මතය මෙම මතයයි.නමුත් ඉතා සුලු විද්‍යාඥයන් පිරිසක් හැරුනු විට බහුතරයක් විද්‍යාඥයන් මෙම මතය නොසලකා හැර ඇත.
ඇතැම් විට මේ සඳහා සැබැ හේතුව මිනිසාගේ දැනුම් පරාසයට ඔබ්බෙන් පවතින දෙයක් විය හැක.එසේම මෙම මාතෘකාව එතරම් පරීක්ෂකයන්ගේ අවධානයට යොමු වූවක් නොවීමද ඒ පිළිබඳව තොරතුරු ඉතාමත් අඩුවෙන් අනාවරණය වී තිබීමට හේතු විය හැක.

                                                                                                                               --  තාරක විජයරත්න